Friday, July 29, 2011

පුතුනේ . . .

෴෴

මහා කන්දක් බරට
උසුලා දරාගෙන
නොතලා කිසිමවිට
රැකගෙන මුතුසේම
පියමැන්නා නොවෙද
පුතුනේ දිවිමඟට

ලේ කිරිකර පොවා
සෙනෙහෙන් දොවා
ඇතිදැඩි කළා නොවැ
සවිබල රැඳෙන ලෙස

පුතුනේ අගුපිලද
දුන්නේ නුඹ අපට
කම් නැත සැඟවීම
ඉන්නම් නොපෙනෙන්න

෴෴෴෴

Wednesday, July 27, 2011

අත බැරිවෙලා . . .

කිරි සිනා මතකයේ 
අද වගේමයි පුතේ
උඹේ ලඟ මේ දැනුත්
නෑ වෙනසක්ව ඇත්තේ
ඇබින්දක තරහකින්
වචන කීවත් මුවේ . . .


අත බැරිවුණා නොවැ
ගිලිහිලා බිමට ,
හරි ගණන් නොවැ පෝසිලේන්
මම නොදන්නවෑ ඒ බව
බිඳිලා ඉරි ගිහින් . . .


කාමරේ හරි කළුවරයි
ඒක හොඳයි ,
නිදාගතහැකි හොඳට
බෑ නොවැ එළියට
ඇහැ පියා ගන්න හරියට . . .


ඔය පුංචි කවුළුව
මදෑ හුළඟක් එන්න
දාඩියත් නෑ ,
හීතලයි නොවැ මේ කාලේ . . .


වෙලාවට උඹ
අගුල දැම්මේ දොරේ
නින්දෙන් ඇවිදලා
කොයි යාවිද ,
නිච්චි නෑ නොවැ
මේ නාකි මට . . .


ලුණු බලනයි කියපන්
හරියකට හොද්දට
ලේලිට . . .


පුතේ උඹ කෑවද
නැතිනම් ඉතින් බැරියැ අද
පිටිං කන්න වෙනසකට . . .

Sunday, July 24, 2011

කුචි , කිචි සහ කිති . . .

සිත කිචි කැවෙන තරමට
නුඹ කුචි කවයි ලඟ ඉඳ
මට කිති දැනෙයි හරියට
ලඟක ඉන්න බැරි තරමට

කුචි කියයි සමහරු
කිති කියයි ඇතැමුද
කිචි කියලා කිව්වද
එකම ලෙස හිරිවැටෙනවාමය

අකුරු පද වෙනසක් වුවද නෙක
හැඟීමක වෙනසක් වනුද නැත
මට ඔබට කාටත් එකම ලෙස
දැනෙනවාමය කිචිය හරියට

Wednesday, July 20, 2011

මගේ දුවේ . . .

වදන් වැල් ගැලපිලා 
කවි රටා මැවුන කල් 
පුංචි නුඹෙ දෙනෙත් යුග 
නිබදවම මට පෙනේ

පියෙක් නැති ලොවක් තුළ 
කුසදරා නුඹ අනේ 
මවු පියන් දෙදෙනගෙම 
සෙනෙහසින් නැහැවුවේ  

අසම්මත පෙමක් ලඟ 
සිතක් පැටලුන දිනේ 
පුංචි නුඹ මෙමන් දුන් 
නොයෙක් දුක් ඉහිලුවේ

නුඹේ ඒ ළමාවිය 
අනේ වියැකී ගියේ 
මගෙන් ලැබු හිරිහැරෙන් 
පිරී ඉතිරුන ලෙසේ

අසම්මතයේ පෙමක ඇති 
කම් සුවය හැඳිනුවෙමි 
හිස් බවක් මිස කිසිත් 
එහි නැතෙයිවැටහුනෙහි  

අද පටන් මම සිටිමි 
නුඹේ සෙවනැල්ලසේ 
ආයෙනම් වැටෙන්නෑ  
කඳුළු බිදු නුඹෙ නෙතේ
  
මගේ ලොව මින් මතුව  
නුඹ පමණි සුදු දුවේ 
හැකි කමක් තිබුනොතින් 
දුන මැනවි මට සමා  

ලොවේ යම් කිසි දිනක 
නුඹ මවක් වු දිනේ 
වැටහේවි මගෙ දුකම 
නුඹේ ඔය පපුතුරේ

Thursday, July 7, 2011

රැල්ල . . .




ස්කයිප් , ෆේස්බුක්
අතු අතර මල් කඩන
අපේ උන් අතු කඩං
වැටෙනකං අතු පතර

ඔන්ලයින් ඕෆ්ලයින්
අතර ගෙවෙනා මෙවන්
ජීවිත නම් කොයි තරම්
ඇත්ද තව අපි අතර

මොඩර්න් වුණු වචන වල
සඟවලා ආදරය
කොමෙන්ට් කර ලයික් කර
ඇත තාම රඳවගෙන

වෙන තරම් මොඩර්නයිස්
හිඳී ඈ නැවතිලා
පට්ට මරු වචන දැක
යාවි ඇය නික්මිලා

පෙම්වතිය ගැන මෙහෙම
හිතන පෙම්වන්තලා
දෙවෙනි නෑ කිසිම විට
චැට් ලිස්ට්ස් ගොඩගසා

Tuesday, July 5, 2011

අම්මේ . . .



දැනුනත් සුවඳ පෙර ලෙසටම සිතට මගේ
තනිකම පාලුවත් පොදි බැඳ සිතෙහි මගේ
දුවලා එන්න හිත කියනවා ලගට නුඹේ
එන්නද අම්මේ පෙරදා සේ තුරුලටම නුඹේ

අතගා මගේ හිස හොදහැටි දුක විමසා
අනලා කවනවද බත් පිඬ පෙර ලෙසටා
දිනලා මගේ ලොව ජය ගෙන එන දවසා
සිටිනවා නේද අම්මේ පෙර මඟට වෙලා

Monday, July 4, 2011

නුඹ ලඟින් . . .




හිරු සඳුද පොඩි තරුද
මම වෙමිය නුඹ ලොවට
ආදරයේ මල් වැහිද
ගෙන එමිය නුඹ වෙතට

ජිවිතයේ දුක සතුට
එක ලෙසට විද ගන්න
නුඹ ලඟින් මම ඉමිය
සැමදාම මේ විලස

෴෴෴

Sunday, July 3, 2011

ආලය . . .



සිහිපත් කලේමි හද හඩනා තුරාවට 
පෙම් පත් ලිවේ අත රිදෙනා තුරාවට
ඔය ගල් හදට මේය නොදැනුන නිසාවට
ආලය කරමි සැමදා හුදකලාවට


Friday, July 1, 2011

ඩිංගිරාගේ සුදු මැණික


සුදු මැණික ,



ඔය ඇත්ති පෙරලි පෙරලි පංතියට වැදෙනවා දැක්කහම සත්තයි මගේ පපු කැනැත්තට මොකද්දෝ වුණා . ජම්බෝල මූණ මැද්දට වාත්තු දැම්ම වගේ තියෙන ජමුබු නාහෙ දිහා දැක්කම මට ඔය ඇත්තිගෙ නාහෙ මිරිකන්නමයි හිත් කීවේ . අනේ මා ගැන අහිතකින් නම් ඕං බැලුම්ලනවා එහෙම නොවේ ඕං හොඳේ . සත්තයි . . . ! ! ! මම ඔය ඇත්තිට මනාපයි .

අපේ අප්පොච්චා නිතර දෝහේ කියන බහක් නොවැ පාරේ බැහැල කැන්දන් යන්න ඇහැකි එකියක් සහේ ගනින් කියන එක . ඉතිං මට නං ඕං හම්බුනා වගේ කියලා හිතෙනවා දැං . මගේ කකුල් කඩිත්තුව හැදුනු වෙලේක උනත් ඔය ඇත්තිට බැරියැ මාව ඩිංගිත්තක් උස්සං යන්න . අප්පොච්චටත් සතුටු දැනෙයි නොවැ.

මේ ඇහුනද , ඔය ඇත්ති බතක් මාලුවක් අතගාගන්න අකුරු කොරලා ඇත්ද දන්නේ නැ නේද . නැතත් කමක් නැ . ඔය ඇත්තිටයි මටයි බැරියැ පයිඩයිස් එකක් ගෙනැවිදින් දවාලයි රෑයි සප්පයම් වෙන්න . පයිඩයිස්ම කාල එපා වුනොතින් අපි අර පිස්ස හුට් එකක් ඇති ඉසවුවකට ගාටමුකො . එහෙව් හොඳැ .

අනේ ඕං දිගෑදෙන්නනම් පැදුරු කඩමාල්ලක් තමයි හරියන්නේ. සත්තයි මයෙ හිතේ කොලඹ ගාටල පලවෙනිම දවසේ මාව අපේ ඔය හොස්ටොල් එකේ ඇඳෙන් පහලට පතබෑවුණා නොවැ . මම ඔය උස ඉසවුවලට ඩිංගිත්තක් බයයි . අහිතක් නැත්නම් ඔය ඇත්තිත් පැදුරේ දිගෑදෙමු . නැත්තත් ඔය හොඳ ඔට්ටපාලු මෙට්ටයක් හොයාල ගන්න බැරිවෙන එකක් නැතිවෙයි නොවැ . ඒකට දාගන්න හමක් වේලන්ඩ කියලා මම ඔන්නං අපේ අයියන්ඩිට වචනේ දාල බලන්නම් . හැබැයි ඕං අයියන්ඩිට කොලඹ ගාටන්න මන් කියනවා එහෙව් නොවෙයි . උන්දැ මෙහෙ ගෑටුවොත් මට වෙන්නේ එක ගෙයි කන්න. උන්දැ හරි කපටියා . මට කලියෙන් හැමදාම ගෙට රිංගයි . ඒ වැඩේ ඕං බොට ඔට්ටු නෑ .

ඉතිං කැකුලේ මොකදැ උඹේ බහ කියාපන් මට . මගෙ හිත කියනවා ඔය ඇත්ති මට බහදේවි කියලා . මට ඕං වහුං කරනවා එහෙවු නෙවෙයි . ඔය ඇත්ති බහක් දෙනකන් මයේ පපු කැනැත්ත ඔය ඇත්ති ගාව තියන් මා බලාන ඉන්නම් . ඒ දවසට බැරියැ අපේ අප්පොච්චටයි අම්මිලා ඇත්තන්ටයි කීලා ඔය ඇත්තිලාගේ ඉසව්වට ගාටන්න .එහෙව් හොඳෑ . එහෙනං කැකුලේ මයේ ඇහැ රිදෙනකං බලං ඉන්නවා . වං හුං කතා දාන්න හිත්ලෑවට මයෙ හිතේ ඩිංගිත්තක බයක් තියේ නොවැ . ඒකයි මේ ලියුං කඩදහිය කුරුටු ගෑවේ . ඔය ඇත්තිට කැලෑ දේවතාවගේම පිහිටයි . 


උඹට හිත්ලෑව ,
ඌරුලෑවේ ඩිංගිරා

රැය සහ දහවල . . .




රෑ පුරාම

මා නිදනා හඬ 
සවනත පුරා
විදගනිමින්
අනේ නුඹ ,

අවදිව හිඳ . . .

දහවල පුරාම
මගේ හඬ , 
නොඅසාම
නිදන හැටියක් . . .