Wednesday, July 27, 2011

අත බැරිවෙලා . . .

කිරි සිනා මතකයේ 
අද වගේමයි පුතේ
උඹේ ලඟ මේ දැනුත්
නෑ වෙනසක්ව ඇත්තේ
ඇබින්දක තරහකින්
වචන කීවත් මුවේ . . .


අත බැරිවුණා නොවැ
ගිලිහිලා බිමට ,
හරි ගණන් නොවැ පෝසිලේන්
මම නොදන්නවෑ ඒ බව
බිඳිලා ඉරි ගිහින් . . .


කාමරේ හරි කළුවරයි
ඒක හොඳයි ,
නිදාගතහැකි හොඳට
බෑ නොවැ එළියට
ඇහැ පියා ගන්න හරියට . . .


ඔය පුංචි කවුළුව
මදෑ හුළඟක් එන්න
දාඩියත් නෑ ,
හීතලයි නොවැ මේ කාලේ . . .


වෙලාවට උඹ
අගුල දැම්මේ දොරේ
නින්දෙන් ඇවිදලා
කොයි යාවිද ,
නිච්චි නෑ නොවැ
මේ නාකි මට . . .


ලුණු බලනයි කියපන්
හරියකට හොද්දට
ලේලිට . . .


පුතේ උඹ කෑවද
නැතිනම් ඉතින් බැරියැ අද
පිටිං කන්න වෙනසකට . . .

8 comments:

  1. අම්මලා දරුවන්ට කොයිතරම් නම් ආදරේ කරනවද. මේ කවිය ගොඩක්ම ඒ ආදරේ මතු කරලා පෙන්නුවා. ලස්සන ඒ වගේම දුක හිතෙන කවි පන්තියක්.

    ReplyDelete
  2. මේක නම් මැක්ස සහෝදරී! අම්මෙක් හිතන විදිය බොහොම ලස්සනට පෙන්නල තියනව. මොන දේ වුනත් කොහොමහරි දරුවො හරි කියල හිත හදාගන්න එකනෙ අම්මල කරන්නෙ. හිතට වදින නිර්මාණයක්.

    ReplyDelete
  3. මේවගේ තත්වයේ ඉන්න දෙමවුපියෝ කොයිතරම් නම් ඇත්ද . . .

    ReplyDelete
  4. පුදුම විදියට හැගීම් බරයි..කියන්න දෙයක් හිතා ගන්න බැරි තරන්ම..

    ReplyDelete
  5. @ මධුරංග . .
    බොහොමත්ම ස්තුතියි සහෝ . . හැමදාමත් වගේ මගේ නිර්මාණ අගය කරනවට .. නැවතත් බොහොමත් ස්තුතියි . .

    ReplyDelete
  6. @ Kasun . . .
    බොහොමයක් අම්මලා තම දරුවන් තමන්ට මොන තරම් දෙවල් කලත් නිහඩවම විදගන්නවා ඇරෙන්න එ දරුවන්ට සාප දෙන්න යන්නෙ නැහැ.
    බොහොමත් ස්තුතියි සහෝ මගේ නිර්මාණ අගය කර දක්වන සහයොගයට . . .

    ReplyDelete
  7. @ සුශාන් . .
    ඔව් . .අද සමාජයේ බොහොමයක් වයසට ගිය දෙමාපියෝ මේ වගේ අසරණ වෙලා ඉන්නවා . .
    බොහොමත් ස්තුතියි ඔබට මාගේ නිර්මාණ අගය කිරිම ගැන . .

    ReplyDelete
  8. @ අසනි . .
    :) ගොඩාක් ස්තුතියි ඔබට දක්වන මේ සහයෝගයට.තව තවත් අර්තවත් නිර්මාණ කිරිමට මා දිරිගන්වනවාට . . . :) :)

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .