Thursday, November 24, 2011

මඟ බලාන......


නුඹ එනතුරු මග බලාන,
ඉන්නෙමි මම නෙත් අයාන,
පපුතුරුලේ හිස හොවාන,
මගේ සිතේ දුක කියන්න..

නළල් තලය සිඹින විටදී,
මගේ දෙනෙතම පියාගන්න,
නුඹේ උරහිසේ වාරු වෙලා,
මගේ කඳුලැලි මුදා ලන්න..

සංසාරෙන් සංසාරෙට,
හැමදාමත් එකට යන්න,
පතන පැතුම් කවදාහෝ,
ඉටුවෙවිද මට කියන්න...

ජිවිතයම බෙදා ගන්න,
මගේ ලගින් සදා ඉන්න,
අතැගිලි මගේ පටල ගන්න,
අයෙත් ඇත නොහැර යන්න

Saturday, November 19, 2011

අතීත මතකය.............



සිතල හිම වැහි වසින සැදෑවක
කවුළුව අතරින් දෙනෙත් යොමාගෙන...
සිත තුල වදදෙන සිතුවිලි සිර කොට,
දොරගුළු ලැවෙමි පිටත නොඑන්නට.

පාළුව තනිකම සැඟවී කඳුලක,
දෙනෙතම බොඳකර නහවයි දෙකපොලු...
වදනට නොනැගෙන හිස්බව තුල හිඳ,
සොයනෙමි අරමුණු ජිවත් වන්නට,

අත්වැල් අල්ල්ලන් දිවිමග යන්නට,
ලගින් සිටිය නුඹ නැත මා ළඟ අද..
මතකය පමණක් ඉතිරිව ඇත මට,
ජිවත් වන්නට ඒ තුල සැඟවී...





Wednesday, November 16, 2011

ආදරණිය අම්මේ...

ආදරණිය අම්මේ...

නුඹේ උපන් දින සමරන අද දින
සැතපුම් දස දහස් ගණනක් ඇතින් 
සිටියත් මා ,සිතින් නුඹ ලඟයි . . . 
මතු දිනයක මා එනතුරු නුඹ වෙත
පෙරදා මෙන් දල්වා නෙතු යුග
බලා හිදිනු මැන තුරුලට ගෙන මා
සිප සනහන්නට මගේ දුවේ කියා,

සියක් ආයු ලැබ , මගේත් ආයු ගෙන , නිදුක් නීරෝගීව නුඹ ජිවත් වේවා ! ! කියා පතනේමි අම්මේ නුඹේ උපන් දින සුභ පැතුමේන්
    මේ පුංචි දෝණී . . .

Monday, October 17, 2011

මතකය අතර . . .

______________________________

මිය ගිය මා සිත
රැගෙන සුසානෙට
පිය මනිනා කළ
දුටුවෙමි නුඹ රුව

මදකට නැවතී
බැලුවෙමි ඒ දෙස
මිය ගිය මා සිත
නැවතත් ගැස්සින

පෙරදා මා හා
අතිනත ගෙන නුඹ
පිය නැන ගිය මඟ
ඇය අත ගෙන ඇත

නුඹ නැති ලොව තුළ
ඉඩ නැත වෙනෙකුට
කී නුඹ දැයි මේ
වැටහුනෙ නැත මට

සිතුවෙමි මා නෙතු
රැවටි ඇති බැව්
මේ නුඹ නොවෙතැයි
සිත පැවසුවෙ මට

ඒ ලෙස සිතමින් සොඳ සැටි බැලු කළ
නුඹ මා කර ලූ ඒ සුදු මාලය
ඇයගේ ගෙලවට රඟදෙන දිස්නෙට
ලොවම දිටිමි මම බොඳවුණු දෑසෙම

_______________________________

Tuesday, October 4, 2011

නුඹ එනතුරු . . .



දුකින් හඬන සිත අද්දර
සිනා මලක් වී පිපෙන්න
අඳුර කපා එළිය දෙන්න
තරු පොකුරක් වී සිටින්න

උදැසනින් පිපෙන කුසුම
විලසේ සුවඳවත් වන්න
ජිවිතයේ කඳුළු වසා
සතුටු සිනා රැගෙන එන්න

මියෙන තුරා එකම මඟක
ජිවන ගමනේ යෙදෙන්න
මගේත් එක්ක නුඹ එනවද
අතැඟිලි මුදු පළදවන්න . . .

Friday, September 30, 2011

මගේ හීන . . .



අනාගතයේ එක දවසක
නුඹේ අත ගෙන ඇවිද යන්න
ගෝල්ෆේස් පිටියේ ඉඳන්
ඉස්සෝ වඩේ රස බලන්න

විදුලි පහන් කණු ගැන ගැන
පිට කොටුවට පයින් යන්න
තෙහෙට්ටුවක් දැණුන විටදි
සරුවත් වල රස බලන්න

අනෙක් ඈයෝ ඇස් ගසද්දි
නුඹේ අතැඟිලි අල්ල ගන්න
විහාර මහ දේවි එකේ
පුංචි කොච්චියේ යන්න

හිරු කිරණින් ගත දැවෙද්දි
එක කුඩයක වහං වෙන්න
නුඹේ උරහිසේ හිස තියාන
මගේ සිතුවිලි දිඟ හරින්න

හිරු බැස ගොස් සද නැගේද්දි
වෙන්වන දුක වාවගන්න
නුඹේ දෙතොලට දෙතොල තියා
අවසන් හාදුව පුදන්න

Tuesday, August 2, 2011

නුඹට මට සම්මත ලොවට අසම්මත . . .


පුංචි පුතු පාසලට
ගෙනගිය ඇසිල්ලෙන්
දුව ආවෙමි පෙරදිනේ
නුඹේ ඔය උණුහුමට 

ඒත් අද 
මා හිමිට ඉවවැටි
අපට සම්මත වු
ලොවට අසම්මත වු
අපේ ඒ ආදරේ 

ඉඩක් නැහැ ලඟක 
දැන් ඉතින් හමුවන්න 
පෙර ලෙසක
තුරුල් කර මතකයන්
පපුතුරේ සඟවගෙන
නිහඬවම ඉවසමිය
රැකගන්න මා 
දරාගත් කුටුම්බය 

Friday, July 29, 2011

පුතුනේ . . .

෴෴

මහා කන්දක් බරට
උසුලා දරාගෙන
නොතලා කිසිමවිට
රැකගෙන මුතුසේම
පියමැන්නා නොවෙද
පුතුනේ දිවිමඟට

ලේ කිරිකර පොවා
සෙනෙහෙන් දොවා
ඇතිදැඩි කළා නොවැ
සවිබල රැඳෙන ලෙස

පුතුනේ අගුපිලද
දුන්නේ නුඹ අපට
කම් නැත සැඟවීම
ඉන්නම් නොපෙනෙන්න

෴෴෴෴

Wednesday, July 27, 2011

අත බැරිවෙලා . . .

කිරි සිනා මතකයේ 
අද වගේමයි පුතේ
උඹේ ලඟ මේ දැනුත්
නෑ වෙනසක්ව ඇත්තේ
ඇබින්දක තරහකින්
වචන කීවත් මුවේ . . .


අත බැරිවුණා නොවැ
ගිලිහිලා බිමට ,
හරි ගණන් නොවැ පෝසිලේන්
මම නොදන්නවෑ ඒ බව
බිඳිලා ඉරි ගිහින් . . .


කාමරේ හරි කළුවරයි
ඒක හොඳයි ,
නිදාගතහැකි හොඳට
බෑ නොවැ එළියට
ඇහැ පියා ගන්න හරියට . . .


ඔය පුංචි කවුළුව
මදෑ හුළඟක් එන්න
දාඩියත් නෑ ,
හීතලයි නොවැ මේ කාලේ . . .


වෙලාවට උඹ
අගුල දැම්මේ දොරේ
නින්දෙන් ඇවිදලා
කොයි යාවිද ,
නිච්චි නෑ නොවැ
මේ නාකි මට . . .


ලුණු බලනයි කියපන්
හරියකට හොද්දට
ලේලිට . . .


පුතේ උඹ කෑවද
නැතිනම් ඉතින් බැරියැ අද
පිටිං කන්න වෙනසකට . . .

Sunday, July 24, 2011

කුචි , කිචි සහ කිති . . .

සිත කිචි කැවෙන තරමට
නුඹ කුචි කවයි ලඟ ඉඳ
මට කිති දැනෙයි හරියට
ලඟක ඉන්න බැරි තරමට

කුචි කියයි සමහරු
කිති කියයි ඇතැමුද
කිචි කියලා කිව්වද
එකම ලෙස හිරිවැටෙනවාමය

අකුරු පද වෙනසක් වුවද නෙක
හැඟීමක වෙනසක් වනුද නැත
මට ඔබට කාටත් එකම ලෙස
දැනෙනවාමය කිචිය හරියට

Wednesday, July 20, 2011

මගේ දුවේ . . .

වදන් වැල් ගැලපිලා 
කවි රටා මැවුන කල් 
පුංචි නුඹෙ දෙනෙත් යුග 
නිබදවම මට පෙනේ

පියෙක් නැති ලොවක් තුළ 
කුසදරා නුඹ අනේ 
මවු පියන් දෙදෙනගෙම 
සෙනෙහසින් නැහැවුවේ  

අසම්මත පෙමක් ලඟ 
සිතක් පැටලුන දිනේ 
පුංචි නුඹ මෙමන් දුන් 
නොයෙක් දුක් ඉහිලුවේ

නුඹේ ඒ ළමාවිය 
අනේ වියැකී ගියේ 
මගෙන් ලැබු හිරිහැරෙන් 
පිරී ඉතිරුන ලෙසේ

අසම්මතයේ පෙමක ඇති 
කම් සුවය හැඳිනුවෙමි 
හිස් බවක් මිස කිසිත් 
එහි නැතෙයිවැටහුනෙහි  

අද පටන් මම සිටිමි 
නුඹේ සෙවනැල්ලසේ 
ආයෙනම් වැටෙන්නෑ  
කඳුළු බිදු නුඹෙ නෙතේ
  
මගේ ලොව මින් මතුව  
නුඹ පමණි සුදු දුවේ 
හැකි කමක් තිබුනොතින් 
දුන මැනවි මට සමා  

ලොවේ යම් කිසි දිනක 
නුඹ මවක් වු දිනේ 
වැටහේවි මගෙ දුකම 
නුඹේ ඔය පපුතුරේ

Thursday, July 7, 2011

රැල්ල . . .




ස්කයිප් , ෆේස්බුක්
අතු අතර මල් කඩන
අපේ උන් අතු කඩං
වැටෙනකං අතු පතර

ඔන්ලයින් ඕෆ්ලයින්
අතර ගෙවෙනා මෙවන්
ජීවිත නම් කොයි තරම්
ඇත්ද තව අපි අතර

මොඩර්න් වුණු වචන වල
සඟවලා ආදරය
කොමෙන්ට් කර ලයික් කර
ඇත තාම රඳවගෙන

වෙන තරම් මොඩර්නයිස්
හිඳී ඈ නැවතිලා
පට්ට මරු වචන දැක
යාවි ඇය නික්මිලා

පෙම්වතිය ගැන මෙහෙම
හිතන පෙම්වන්තලා
දෙවෙනි නෑ කිසිම විට
චැට් ලිස්ට්ස් ගොඩගසා

Tuesday, July 5, 2011

අම්මේ . . .



දැනුනත් සුවඳ පෙර ලෙසටම සිතට මගේ
තනිකම පාලුවත් පොදි බැඳ සිතෙහි මගේ
දුවලා එන්න හිත කියනවා ලගට නුඹේ
එන්නද අම්මේ පෙරදා සේ තුරුලටම නුඹේ

අතගා මගේ හිස හොදහැටි දුක විමසා
අනලා කවනවද බත් පිඬ පෙර ලෙසටා
දිනලා මගේ ලොව ජය ගෙන එන දවසා
සිටිනවා නේද අම්මේ පෙර මඟට වෙලා

Monday, July 4, 2011

නුඹ ලඟින් . . .




හිරු සඳුද පොඩි තරුද
මම වෙමිය නුඹ ලොවට
ආදරයේ මල් වැහිද
ගෙන එමිය නුඹ වෙතට

ජිවිතයේ දුක සතුට
එක ලෙසට විද ගන්න
නුඹ ලඟින් මම ඉමිය
සැමදාම මේ විලස

෴෴෴

Sunday, July 3, 2011

ආලය . . .



සිහිපත් කලේමි හද හඩනා තුරාවට 
පෙම් පත් ලිවේ අත රිදෙනා තුරාවට
ඔය ගල් හදට මේය නොදැනුන නිසාවට
ආලය කරමි සැමදා හුදකලාවට


Friday, July 1, 2011

ඩිංගිරාගේ සුදු මැණික


සුදු මැණික ,



ඔය ඇත්ති පෙරලි පෙරලි පංතියට වැදෙනවා දැක්කහම සත්තයි මගේ පපු කැනැත්තට මොකද්දෝ වුණා . ජම්බෝල මූණ මැද්දට වාත්තු දැම්ම වගේ තියෙන ජමුබු නාහෙ දිහා දැක්කම මට ඔය ඇත්තිගෙ නාහෙ මිරිකන්නමයි හිත් කීවේ . අනේ මා ගැන අහිතකින් නම් ඕං බැලුම්ලනවා එහෙම නොවේ ඕං හොඳේ . සත්තයි . . . ! ! ! මම ඔය ඇත්තිට මනාපයි .

අපේ අප්පොච්චා නිතර දෝහේ කියන බහක් නොවැ පාරේ බැහැල කැන්දන් යන්න ඇහැකි එකියක් සහේ ගනින් කියන එක . ඉතිං මට නං ඕං හම්බුනා වගේ කියලා හිතෙනවා දැං . මගේ කකුල් කඩිත්තුව හැදුනු වෙලේක උනත් ඔය ඇත්තිට බැරියැ මාව ඩිංගිත්තක් උස්සං යන්න . අප්පොච්චටත් සතුටු දැනෙයි නොවැ.

මේ ඇහුනද , ඔය ඇත්ති බතක් මාලුවක් අතගාගන්න අකුරු කොරලා ඇත්ද දන්නේ නැ නේද . නැතත් කමක් නැ . ඔය ඇත්තිටයි මටයි බැරියැ පයිඩයිස් එකක් ගෙනැවිදින් දවාලයි රෑයි සප්පයම් වෙන්න . පයිඩයිස්ම කාල එපා වුනොතින් අපි අර පිස්ස හුට් එකක් ඇති ඉසවුවකට ගාටමුකො . එහෙව් හොඳැ .

අනේ ඕං දිගෑදෙන්නනම් පැදුරු කඩමාල්ලක් තමයි හරියන්නේ. සත්තයි මයෙ හිතේ කොලඹ ගාටල පලවෙනිම දවසේ මාව අපේ ඔය හොස්ටොල් එකේ ඇඳෙන් පහලට පතබෑවුණා නොවැ . මම ඔය උස ඉසවුවලට ඩිංගිත්තක් බයයි . අහිතක් නැත්නම් ඔය ඇත්තිත් පැදුරේ දිගෑදෙමු . නැත්තත් ඔය හොඳ ඔට්ටපාලු මෙට්ටයක් හොයාල ගන්න බැරිවෙන එකක් නැතිවෙයි නොවැ . ඒකට දාගන්න හමක් වේලන්ඩ කියලා මම ඔන්නං අපේ අයියන්ඩිට වචනේ දාල බලන්නම් . හැබැයි ඕං අයියන්ඩිට කොලඹ ගාටන්න මන් කියනවා එහෙව් නොවෙයි . උන්දැ මෙහෙ ගෑටුවොත් මට වෙන්නේ එක ගෙයි කන්න. උන්දැ හරි කපටියා . මට කලියෙන් හැමදාම ගෙට රිංගයි . ඒ වැඩේ ඕං බොට ඔට්ටු නෑ .

ඉතිං කැකුලේ මොකදැ උඹේ බහ කියාපන් මට . මගෙ හිත කියනවා ඔය ඇත්ති මට බහදේවි කියලා . මට ඕං වහුං කරනවා එහෙවු නෙවෙයි . ඔය ඇත්ති බහක් දෙනකන් මයේ පපු කැනැත්ත ඔය ඇත්ති ගාව තියන් මා බලාන ඉන්නම් . ඒ දවසට බැරියැ අපේ අප්පොච්චටයි අම්මිලා ඇත්තන්ටයි කීලා ඔය ඇත්තිලාගේ ඉසව්වට ගාටන්න .එහෙව් හොඳෑ . එහෙනං කැකුලේ මයේ ඇහැ රිදෙනකං බලං ඉන්නවා . වං හුං කතා දාන්න හිත්ලෑවට මයෙ හිතේ ඩිංගිත්තක බයක් තියේ නොවැ . ඒකයි මේ ලියුං කඩදහිය කුරුටු ගෑවේ . ඔය ඇත්තිට කැලෑ දේවතාවගේම පිහිටයි . 


උඹට හිත්ලෑව ,
ඌරුලෑවේ ඩිංගිරා

රැය සහ දහවල . . .




රෑ පුරාම

මා නිදනා හඬ 
සවනත පුරා
විදගනිමින්
අනේ නුඹ ,

අවදිව හිඳ . . .

දහවල පුරාම
මගේ හඬ , 
නොඅසාම
නිදන හැටියක් . . .

Tuesday, June 28, 2011

නුඹව . . .

සිනා සලනට 
ඇවසිමුත් මට
නුඹත් සමඟින් 
එකට එක් වි


ලොවේ නොයෙකුත් 
චොදනා මැද
සිනා සෙන්නද 
කෙලෙස මා අද


නුඹේ අත ගෙන
අපේ ලොව වෙත
පිය නඟන්නට 
හැකිය දවසක


සියලු බාධා 
කෙසේ හෝ බිඳ
සිතට සතුටක් 
රඳවමින් නුඹේ


දිනෙක නිසැකව
නුඹව කැන්දන්
මිහිරි ලොවකට 
ගෙන යමි මම 

පියානණි . . .

සෙනෙහසින් ඉතිරුණු
මතක පොදි තුරුලුකර
බලා හිඳිනෙමි සිතින්
අතීතයක අභිමන


වත්මනට පය තැබූ
පියවරක් පසුපසම
සිටියා නුඹ නිතැතින්ම
අපමණක සෙනෙහසින්


හැර ගොසිනි හැමදාට
ජීවිතය මෙයයි යන
අකුරු කෙරු පාඩම්ද
දිවිමඟට තුරුලුකර


පියානණී නුඹ ලඟක
නැතත් මට සිපගන්න
සිතින් හැමදාකදිම
සිපගනිමි සෙනෙහෙන්ම

Sunday, June 26, 2011

පන්දාහ . . .






අවමය හයදහ නිසා උන් හයදහ දුන්නා
දාහේ කොලේ පන්දහ ලඟ තනි රැක්කා
ඉස්සර නම් කොල හයක්ම අතේ රැඳුනා
දැන් නෑ බරට කොල දෙකකුයි ඇතෙ රැඳිලා

ගන්නට දසකුත් දේ හිතෙ ඇත පෙලගැහිලා
කඩෙකින් කඩේකට පියමැන මිල විමසනවා
කොල දෙකෙ හෑල්ලුව හිත යට තෙරපෙනවා
පන්දහ මාරුවෙන්නට තව කල් යනවා

ඉඳලා ඉඳලා පන්දහේ මාරුව වෙනවා
හාලුත් තුනපහත් ටික ටික මල්ලට යනවා
පොඩිපුතු මතක් වෙනකොට මගේ හිත දනවා
අවුරුදු කන්න උන් මඟ හිඳ හිනැහෙනවා

දන්නවා හොඳට මාපිය සැලකිලිද මම
අතමිට නැහැනේ ගන්නට දේ ඇතත් හිත
නුඹලට එදා වාගෙම පෙම රන්දාගෙන
එනවා ගමට මද්දුම මම හිඳීගෙන

කැන්දන් ඇවිත් නුඹටත් මම දුක දුන්නා
තරහක් නැතත් දුක ඇති නුඹ ලඟ රැඳිලා
මොනවා කරන්නද දුක අප අතරට වැදිලා
එක්වී හිඳිමු පොඩිඋන් ගැන හිත් මවලා

තව පන්සියකට වැඩියෙන් නෑ අතේ රැඳී
පන්දහේ කොලේ හැඩවත් මට මතක නැතී
හිතට නැතත් අතවත් අපේ පිරෙනු වටී
දෙන්නට බැරිද පන්දහ තව පුංචි කෙරී

Friday, June 24, 2011

සයිබරයේ අපේ පෙම . . .



chat box එක පුරාවට

විහිදුණාවූ නුඹේ වදන් තුළ
සොයමි මා නුඹේ රුව 
පෙල ගැසුණු Emmotion වල
දකින්නට වෙරදරමි 
නුඹේ සිනා මුව මඬල
විඳින්නට නොහැකිබව
දැන දැනත් නුඹේ උණුහුම
මුහුණු පොතේ බිත්තියක
තනිවෙලා  මගේ පෙම
Hi , Bye වදන් තුළ
තෙරපිලා යෞවනේ
ඇහි පිය රිදෙන තුරු
මුහුණු පොතට නෙත්යොමා
සයිබරයේ තනිවෙලා

Tuesday, June 21, 2011

තාරකා නුඹ . . .

නුඹ , 
සැබෑවෙන්න තරමට 
වරම් අහිමිවුණු 
පෙනි පෙනී බොදවන 
සිහිනයක පෑයු 
එකම එක තාරකාවක් 
හිනාවෙන්න කතාකරලා 
හිත පිරෙන්න හිනස්සලා 
ඒ තරමට කඳුලු දීලා 
යන්න යනවා 
. . හැමදාකම . .

Saturday, June 18, 2011

දෙව් රජුවත් දුටුවේ නැත . . .

මහානර්ඝ පුජාවට්ටි
නෙක වර්ණ පලතුරු
ඉස්තරම් සුවඳ දුම්
දෙදහෙ දාහෙ කොල 
බැතිබර වී හිස මුදුනේ
ඇතු මත දලදාව වගේ


පුදදෙන්නට දෙවිඳුන් හට
පෝලිමෙහි පොදිකමින්
එකිනෙකා පරයන්න
වෙරදරන ගැත්තන්
කුලල් කාගනිමින්
ඇත මී මැසි කැල වගේ


රතු තිරයෙන් වට කෙරිච්ච
සුවඳ කපුරු දුම් පිරිච්ච
කුටියේ සැඟවී දෙවියන් 
නරපනුවන්ගේ යාදිති
අසා අවුල් වූ මනසින්
නිහඬ වෙලාදෝ


දාහෙ දෙදහෙ කොල 
කැවිලි පෙවිලි පළතුරු සැම
දෙවුකුටියේ පිරීයද්දි 
දේවාලේ ඇස් මානත
කුසගිනි වැද හඬා වැටෙන 
දරු පැටවුන්ගෙ මුහුනත
රූටන සීතල කඳුලත
දෙවි රජුවත් දුටුවේ නැත

Monday, June 13, 2011

අතු අග හිඳ . . .

අතු අඟ පිපි
නුඹ දෙස බලා
කදුලැල් සලා
හඬනු හැර 
වෙන කුමක්
කරමිද මම්

මඟ බලමි . . .

ජිවිතේ මල් සිනා
ආදරෙන් ලංකලා
සැම විට ලඟින් හිද
මා තුටින් සැනසුවා

සුරලොවක සිරි ගෙනා
අපේ පොඩි කැදැල්ලේ
දෙදුන්නේ පාට ගෙන
හැඩ දැමු සිරි ඇතේ

කිරි සුවඳ විඳ ගන්න
අපේ ලොව රජ වන්න
මල් සිනා නැඟ දෙන්න
හිදිමි මඟ බලමින්න

Sunday, June 12, 2011

නුඹේ අවසන් කවට . . .

සුදු කඩදහි පිටු පුරා
ඇමිනුවට පදවැල් මා නමින් 
නික්මෙන්නේ කෙලෙසින්ද
මේ විලස  . . . 
බිදක්වත් නොසිතුනිද ,
නුඹ නික්ම ගිය පසුව
නුවන් යුග රතු වේලා
ලොකයෙන් වසන්වි
සිතේ දුක් සිර කරන්
නටඹුන්වු 

අපේ පෙම උදෙසා 
වැලපෙන ,
මා ගැන මොහොතකට . . .

එක් පසෙක පෙමක් . . .

හොර හොරා නැගුනාට 
මගේ මේ පෙම් හැගුම්
නුඹ කෙසේ ඉන්නේද 
නොදැනුනා විලසින්ම
මිය ගියත් හිත් කොනේ
ඒකපාර්ශවීය පෙම
මිය නොයයි කිසිදිනේ
සදා මගේ ලබැදි කම 

හැමදේම . . .

‎අවසර ඉල්ලා ,
අයදින්නේ ඇයි 
එන්නට මා වෙත 

හීන අරන් . . .
දෙනෙතින් කීවත් 

දොඩමලු වෙනුබෑ
ලොවට හොරා බැදී 

පෙම සඟවන් . . .
බලාපොරොත්තුවෙ ,

හීන නොවෙයි ඒ
ජීවිතයම ඔබ 

අරන්ගිහින් . . .

නුඹෙ ලොවට . . .

සෙනෙහසින් සිතු පැතුම්
ඉටුවෙවි නුඹෙ ලොවෙ
දුක් තැවුල් දුරුවිලා
සිත් සතුට රජයන්න
එක සිතින් පතමි මම

හිඳිමි . . .

මරණයේ අභිමුවක
සිනාසී සැනහෙන්න
නුඹ එක්ක මා හිදිමි
හැම භවයෙ මෙවිලස

අපේ වී . . .

කප්පරකට හින පොදි 
ගුලි කරන් මගේ සිතේ
නුඹ වෙතට ලං වෙලා
මුමුණන්න හිත් තියේ . . .

නුඹ ඇවිත් හොර හොරෙන්
හීනයක දැවටිලා
ආදරේ දුන්න සැටි
අපුරුයි ජිවිතේ . . .

අපි අපේ වි මෙසේ
හිත් තුලින් හැම දිනෙ
කවදා හෝ එක් වෙලා
ජය ගනිමු ජිවිතේ . . .

රහසින්ම . . .

රහසින්ම බැදි පෙමින්
මුමුනමින් ලං වෙලා
ජිවිතේ විදගන්න
ඔබ එක්ක හින හිලා . . 
පාරමී පිරු මා 
අද තුටින් සැන සිලා . .
ඔබ ලඟම රැදෙන්නම්
මියෙන තුරු සෑම දා . . .

Saturday, June 11, 2011

නිදහස් දවසේ . . .

මුලුවැදුණු කොඩිවල
කේසර සිංහයෝ
එළියට පැනලා
නිදහස පෙන්නන්න
ආයෙමත් සැරයක්
ලැජ්ජාවෙන් ,
හැංගෙන්න බලාගෙන
අමතක වුණාම
උඹලට ,
නිදහසේ උණ . . .

නිකමට . . .

පොඩ්ඩක් හිනාවෙන්න . . . . 
කවි සිතිවිලි උනන්න . . . . 
ආදරයෙන් බලන්න . . . . 

මට කවියක් ලියන්න . . . .

පියනැඟුම . . .

රුදුරු ගොර සපුන් වෙසෙන
විසල් මහ වන මැද
අතර මං වු ,
මුව පොව්වන් දෙදෙනකු
නොවෙමුද අප . . .

හතරවටින්
භීතිය අඬු විහිදා ගත් . .
මේ භයානක වන ගැබින්
නික්ම . . .
හෙට දිනයේ අප පා තබන්නේ ,
තවත් ,
කුරිරු ලොවකට ,
නොවෙද . . .

පෙම් බැඳ . . .

කප්පරකට හීන අහුරු
නුඹ ගැන මම දැකපු අයුරු
ජීවිතයට සුවඳ තැවරු
කවියකි ඔබ සිතට මියුරු

තනියට ළග නැතත් කවුරු
ලොවම මගේ වෙතත් අදූරු
දෛවය මට උනත් නපුරු
නුඹට බැදුණු පෙමයි සොඳුරු

ඈයි . . .

මල් සුවඳ කොඳුරලා
කීකතා ලංවෙලා
ආදරේ සඟවලා
ඉන්නේ ඇයි ගොලුවෙලා