Friday, September 30, 2011

මගේ හීන . . .



අනාගතයේ එක දවසක
නුඹේ අත ගෙන ඇවිද යන්න
ගෝල්ෆේස් පිටියේ ඉඳන්
ඉස්සෝ වඩේ රස බලන්න

විදුලි පහන් කණු ගැන ගැන
පිට කොටුවට පයින් යන්න
තෙහෙට්ටුවක් දැණුන විටදි
සරුවත් වල රස බලන්න

අනෙක් ඈයෝ ඇස් ගසද්දි
නුඹේ අතැඟිලි අල්ල ගන්න
විහාර මහ දේවි එකේ
පුංචි කොච්චියේ යන්න

හිරු කිරණින් ගත දැවෙද්දි
එක කුඩයක වහං වෙන්න
නුඹේ උරහිසේ හිස තියාන
මගේ සිතුවිලි දිඟ හරින්න

හිරු බැස ගොස් සද නැගේද්දි
වෙන්වන දුක වාවගන්න
නුඹේ දෙතොලට දෙතොල තියා
අවසන් හාදුව පුදන්න

Tuesday, August 2, 2011

නුඹට මට සම්මත ලොවට අසම්මත . . .


පුංචි පුතු පාසලට
ගෙනගිය ඇසිල්ලෙන්
දුව ආවෙමි පෙරදිනේ
නුඹේ ඔය උණුහුමට 

ඒත් අද 
මා හිමිට ඉවවැටි
අපට සම්මත වු
ලොවට අසම්මත වු
අපේ ඒ ආදරේ 

ඉඩක් නැහැ ලඟක 
දැන් ඉතින් හමුවන්න 
පෙර ලෙසක
තුරුල් කර මතකයන්
පපුතුරේ සඟවගෙන
නිහඬවම ඉවසමිය
රැකගන්න මා 
දරාගත් කුටුම්බය 

Friday, July 29, 2011

පුතුනේ . . .

෴෴

මහා කන්දක් බරට
උසුලා දරාගෙන
නොතලා කිසිමවිට
රැකගෙන මුතුසේම
පියමැන්නා නොවෙද
පුතුනේ දිවිමඟට

ලේ කිරිකර පොවා
සෙනෙහෙන් දොවා
ඇතිදැඩි කළා නොවැ
සවිබල රැඳෙන ලෙස

පුතුනේ අගුපිලද
දුන්නේ නුඹ අපට
කම් නැත සැඟවීම
ඉන්නම් නොපෙනෙන්න

෴෴෴෴

Wednesday, July 27, 2011

අත බැරිවෙලා . . .

කිරි සිනා මතකයේ 
අද වගේමයි පුතේ
උඹේ ලඟ මේ දැනුත්
නෑ වෙනසක්ව ඇත්තේ
ඇබින්දක තරහකින්
වචන කීවත් මුවේ . . .


අත බැරිවුණා නොවැ
ගිලිහිලා බිමට ,
හරි ගණන් නොවැ පෝසිලේන්
මම නොදන්නවෑ ඒ බව
බිඳිලා ඉරි ගිහින් . . .


කාමරේ හරි කළුවරයි
ඒක හොඳයි ,
නිදාගතහැකි හොඳට
බෑ නොවැ එළියට
ඇහැ පියා ගන්න හරියට . . .


ඔය පුංචි කවුළුව
මදෑ හුළඟක් එන්න
දාඩියත් නෑ ,
හීතලයි නොවැ මේ කාලේ . . .


වෙලාවට උඹ
අගුල දැම්මේ දොරේ
නින්දෙන් ඇවිදලා
කොයි යාවිද ,
නිච්චි නෑ නොවැ
මේ නාකි මට . . .


ලුණු බලනයි කියපන්
හරියකට හොද්දට
ලේලිට . . .


පුතේ උඹ කෑවද
නැතිනම් ඉතින් බැරියැ අද
පිටිං කන්න වෙනසකට . . .

Sunday, July 24, 2011

කුචි , කිචි සහ කිති . . .

සිත කිචි කැවෙන තරමට
නුඹ කුචි කවයි ලඟ ඉඳ
මට කිති දැනෙයි හරියට
ලඟක ඉන්න බැරි තරමට

කුචි කියයි සමහරු
කිති කියයි ඇතැමුද
කිචි කියලා කිව්වද
එකම ලෙස හිරිවැටෙනවාමය

අකුරු පද වෙනසක් වුවද නෙක
හැඟීමක වෙනසක් වනුද නැත
මට ඔබට කාටත් එකම ලෙස
දැනෙනවාමය කිචිය හරියට

Wednesday, July 20, 2011

මගේ දුවේ . . .

වදන් වැල් ගැලපිලා 
කවි රටා මැවුන කල් 
පුංචි නුඹෙ දෙනෙත් යුග 
නිබදවම මට පෙනේ

පියෙක් නැති ලොවක් තුළ 
කුසදරා නුඹ අනේ 
මවු පියන් දෙදෙනගෙම 
සෙනෙහසින් නැහැවුවේ  

අසම්මත පෙමක් ලඟ 
සිතක් පැටලුන දිනේ 
පුංචි නුඹ මෙමන් දුන් 
නොයෙක් දුක් ඉහිලුවේ

නුඹේ ඒ ළමාවිය 
අනේ වියැකී ගියේ 
මගෙන් ලැබු හිරිහැරෙන් 
පිරී ඉතිරුන ලෙසේ

අසම්මතයේ පෙමක ඇති 
කම් සුවය හැඳිනුවෙමි 
හිස් බවක් මිස කිසිත් 
එහි නැතෙයිවැටහුනෙහි  

අද පටන් මම සිටිමි 
නුඹේ සෙවනැල්ලසේ 
ආයෙනම් වැටෙන්නෑ  
කඳුළු බිදු නුඹෙ නෙතේ
  
මගේ ලොව මින් මතුව  
නුඹ පමණි සුදු දුවේ 
හැකි කමක් තිබුනොතින් 
දුන මැනවි මට සමා  

ලොවේ යම් කිසි දිනක 
නුඹ මවක් වු දිනේ 
වැටහේවි මගෙ දුකම 
නුඹේ ඔය පපුතුරේ

Thursday, July 7, 2011

රැල්ල . . .




ස්කයිප් , ෆේස්බුක්
අතු අතර මල් කඩන
අපේ උන් අතු කඩං
වැටෙනකං අතු පතර

ඔන්ලයින් ඕෆ්ලයින්
අතර ගෙවෙනා මෙවන්
ජීවිත නම් කොයි තරම්
ඇත්ද තව අපි අතර

මොඩර්න් වුණු වචන වල
සඟවලා ආදරය
කොමෙන්ට් කර ලයික් කර
ඇත තාම රඳවගෙන

වෙන තරම් මොඩර්නයිස්
හිඳී ඈ නැවතිලා
පට්ට මරු වචන දැක
යාවි ඇය නික්මිලා

පෙම්වතිය ගැන මෙහෙම
හිතන පෙම්වන්තලා
දෙවෙනි නෑ කිසිම විට
චැට් ලිස්ට්ස් ගොඩගසා