Monday, October 17, 2011

මතකය අතර . . .

______________________________

මිය ගිය මා සිත
රැගෙන සුසානෙට
පිය මනිනා කළ
දුටුවෙමි නුඹ රුව

මදකට නැවතී
බැලුවෙමි ඒ දෙස
මිය ගිය මා සිත
නැවතත් ගැස්සින

පෙරදා මා හා
අතිනත ගෙන නුඹ
පිය නැන ගිය මඟ
ඇය අත ගෙන ඇත

නුඹ නැති ලොව තුළ
ඉඩ නැත වෙනෙකුට
කී නුඹ දැයි මේ
වැටහුනෙ නැත මට

සිතුවෙමි මා නෙතු
රැවටි ඇති බැව්
මේ නුඹ නොවෙතැයි
සිත පැවසුවෙ මට

ඒ ලෙස සිතමින් සොඳ සැටි බැලු කළ
නුඹ මා කර ලූ ඒ සුදු මාලය
ඇයගේ ගෙලවට රඟදෙන දිස්නෙට
ලොවම දිටිමි මම බොඳවුණු දෑසෙම

_______________________________

Tuesday, October 4, 2011

නුඹ එනතුරු . . .



දුකින් හඬන සිත අද්දර
සිනා මලක් වී පිපෙන්න
අඳුර කපා එළිය දෙන්න
තරු පොකුරක් වී සිටින්න

උදැසනින් පිපෙන කුසුම
විලසේ සුවඳවත් වන්න
ජිවිතයේ කඳුළු වසා
සතුටු සිනා රැගෙන එන්න

මියෙන තුරා එකම මඟක
ජිවන ගමනේ යෙදෙන්න
මගේත් එක්ක නුඹ එනවද
අතැඟිලි මුදු පළදවන්න . . .

Friday, September 30, 2011

මගේ හීන . . .



අනාගතයේ එක දවසක
නුඹේ අත ගෙන ඇවිද යන්න
ගෝල්ෆේස් පිටියේ ඉඳන්
ඉස්සෝ වඩේ රස බලන්න

විදුලි පහන් කණු ගැන ගැන
පිට කොටුවට පයින් යන්න
තෙහෙට්ටුවක් දැණුන විටදි
සරුවත් වල රස බලන්න

අනෙක් ඈයෝ ඇස් ගසද්දි
නුඹේ අතැඟිලි අල්ල ගන්න
විහාර මහ දේවි එකේ
පුංචි කොච්චියේ යන්න

හිරු කිරණින් ගත දැවෙද්දි
එක කුඩයක වහං වෙන්න
නුඹේ උරහිසේ හිස තියාන
මගේ සිතුවිලි දිඟ හරින්න

හිරු බැස ගොස් සද නැගේද්දි
වෙන්වන දුක වාවගන්න
නුඹේ දෙතොලට දෙතොල තියා
අවසන් හාදුව පුදන්න

Tuesday, August 2, 2011

නුඹට මට සම්මත ලොවට අසම්මත . . .


පුංචි පුතු පාසලට
ගෙනගිය ඇසිල්ලෙන්
දුව ආවෙමි පෙරදිනේ
නුඹේ ඔය උණුහුමට 

ඒත් අද 
මා හිමිට ඉවවැටි
අපට සම්මත වු
ලොවට අසම්මත වු
අපේ ඒ ආදරේ 

ඉඩක් නැහැ ලඟක 
දැන් ඉතින් හමුවන්න 
පෙර ලෙසක
තුරුල් කර මතකයන්
පපුතුරේ සඟවගෙන
නිහඬවම ඉවසමිය
රැකගන්න මා 
දරාගත් කුටුම්බය 

Friday, July 29, 2011

පුතුනේ . . .

෴෴

මහා කන්දක් බරට
උසුලා දරාගෙන
නොතලා කිසිමවිට
රැකගෙන මුතුසේම
පියමැන්නා නොවෙද
පුතුනේ දිවිමඟට

ලේ කිරිකර පොවා
සෙනෙහෙන් දොවා
ඇතිදැඩි කළා නොවැ
සවිබල රැඳෙන ලෙස

පුතුනේ අගුපිලද
දුන්නේ නුඹ අපට
කම් නැත සැඟවීම
ඉන්නම් නොපෙනෙන්න

෴෴෴෴

Wednesday, July 27, 2011

අත බැරිවෙලා . . .

කිරි සිනා මතකයේ 
අද වගේමයි පුතේ
උඹේ ලඟ මේ දැනුත්
නෑ වෙනසක්ව ඇත්තේ
ඇබින්දක තරහකින්
වචන කීවත් මුවේ . . .


අත බැරිවුණා නොවැ
ගිලිහිලා බිමට ,
හරි ගණන් නොවැ පෝසිලේන්
මම නොදන්නවෑ ඒ බව
බිඳිලා ඉරි ගිහින් . . .


කාමරේ හරි කළුවරයි
ඒක හොඳයි ,
නිදාගතහැකි හොඳට
බෑ නොවැ එළියට
ඇහැ පියා ගන්න හරියට . . .


ඔය පුංචි කවුළුව
මදෑ හුළඟක් එන්න
දාඩියත් නෑ ,
හීතලයි නොවැ මේ කාලේ . . .


වෙලාවට උඹ
අගුල දැම්මේ දොරේ
නින්දෙන් ඇවිදලා
කොයි යාවිද ,
නිච්චි නෑ නොවැ
මේ නාකි මට . . .


ලුණු බලනයි කියපන්
හරියකට හොද්දට
ලේලිට . . .


පුතේ උඹ කෑවද
නැතිනම් ඉතින් බැරියැ අද
පිටිං කන්න වෙනසකට . . .

Sunday, July 24, 2011

කුචි , කිචි සහ කිති . . .

සිත කිචි කැවෙන තරමට
නුඹ කුචි කවයි ලඟ ඉඳ
මට කිති දැනෙයි හරියට
ලඟක ඉන්න බැරි තරමට

කුචි කියයි සමහරු
කිති කියයි ඇතැමුද
කිචි කියලා කිව්වද
එකම ලෙස හිරිවැටෙනවාමය

අකුරු පද වෙනසක් වුවද නෙක
හැඟීමක වෙනසක් වනුද නැත
මට ඔබට කාටත් එකම ලෙස
දැනෙනවාමය කිචිය හරියට